Monday, August 3, 2020

කළමනාකරණ සේවා නිලධාරී විභාගය එකපාරින්ම සමත් වෙන්නේ කොහොමද?



මේ දවස්වල බොහොම පිරිසක් ලියන්න නියමිත, ටියුෂන් වසන්තයක් එළැඹීමටත් නියමිත කළමනාකරණ සේවා නිලධාරී සේවයේ III වන ශ්‍රේණියට බඳවා ගැනීමේ තරග විභාගය ගැනයි මේ කියන්න යන්නේ. පළවෙනිම දේ තමා මේ ලියන්න යන්නේ මොකක්ද කියලා ඉස්සෙල්ලාම දැනගන්න. මේක ලිපිකරු විභාගෙ නෙවෙයි. කළමනාකරණ සහකාර විභාගෙත් නෙවෙයි. මේ තනතුර කළමනාකරණ සේවා නිලධාරී.

ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි මේකට ක්ලාස් යන්නම ඕන ද කියන එක. ඒක තමන්ගේ ස්වභාවය මත වෙනස් වෙනවා ඉතාම හොඳින් ස්වයං අධ්‍යයනය කරන්න පුළුවන් අය කිසිසේත්ම මේකට පන්ති යන්න අවශ්‍ය නෑ. නමුත් සමහර අය ඉන්නවා පන්තියකට ගිහින් සල්ලි දීලා ඒකෙ ඉඳගත්තම තමා මේකට වැඩ කරන්න ගැම්මක් එන්නේ. ගෙදර ඉඳන් තනියම කරනකොට කම්මැලි. තව පිරිසක් එක්ක එකතු වුනාම වැඩේ කරන්න පුළුවන්. ඒ නිසා පන්ති යනවද නැද්ද කියන එක තමන්ම තීරණය කරන්න. මේ කියන්න යන ටික පන්ති යන නොයන හැමෝටම වැදගත් වෙයි.

මේ විභාගෙට ප්‍රශ්නපත්‍ර දෙකක් ලැබෙනවා.

    1.      බුද්ධි පරීක්ෂණය සහ අභියෝග්‍යතාව.

    2.      භාෂා හැකියාව.

බුද්ධි පරීක්ෂණය පත්‍රයට අහන්නේ IQ නැත්නම් බුද්ධි ඵලය හා ගණිතමය තාර්කික හැකියාව පරීක්ෂා කරන ප්‍රශ්න. මේවයේ උත්තරේ ගත්ත විදිහක් වැඩක් නෑ. උත්තරේ ලියලා තියෙනවා නම් ලකුණු ලැබෙනවා. කෙටි ක්‍රම, දිග ක්‍රම නැත්නම් කොපි කරලා ලිව්වත් උත්තරේ තියෙනවා නම් හරි (කොපි කිරීමට යාමෙන් විභාග තහනම් විය හැකිය).

මේකට ඕන තරම් පොත් තියෙනවා එක එක අය ලියපු. ප්‍රශ්න පත්‍රත් ඕන තරම් facebook එකෙන් internet එකෙන් හොයාගන්න පුළුවන්. සමහර පොත්වල හදන ක්‍රමයත් එක්කම තියෙනවා. පොත් කීපයක් මට මතකයි අමර ශ්‍රී හේරත් කියලා මහත්මයෙක් ලියපු. ඒ පොත් සාපේක්ෂව ගණන් අඩුයි වගේම හදන ක්‍රම කීපයක් තියෙනවා නම් ඒ ක්‍රම සේරමත් පැහැදිලි කරලා තිබුණා. ගොඩක් ගුරුවරු ඒ පොත්වලින් ගත්ත ප්‍රශ්න පන්තිවල කරනවා මම දැකලත් තියෙනවා. ඒ නැතත් ක්‍රමත් එක්කම තියෙන ඕන පොතක් මේකට හරි. මෙතනදී තියෙන්නේ කාලයත් එක්ක සටනක්. හැකි ඉක්මනින් උත්තරේ ගන්නයි තියෙන්නේ. නමුත් සමහර විභාග පරීක්ෂකවරු කටුවැඩ කරන්න කඩදාසි දෙන්න බෑ කියපු අවස්ථා තිබුණා. ඒ නිසා බැරිවෙලාවත් එහෙම කරුමයක් සෙට් උනොත් පැන්සලක් අරන් ගියා නම් එතනම ගාන හදලා උත්තරේ දාලා පස්සේ මකලා දාන්න උනත් පුළුවන්.

භාෂා හැකියාව ප්‍රශ්න පත්‍රයේ ක්‍රම කීපයක් ඔස්සේ භාෂා හැකියාව මනිනවා. යම්කිසි ඡේදයක් දීලා කියන වචන ගානකට හෝ 1/3ක් වන සේ සාරාංශ කරන්න කියලා කියනවා. මෙතැනදී වචන දෙක තුනක් එහෙ මෙහෙ වුනාට කමක් නෑ. එත් මම නම් නිර්දේශ කරන්නේ හරියටම කියන වචන ගානටම ලියන්න. ඒක මහලොකු දෙයක් නෙවෙයි. නිපාත, උපසර්ග පාවිච්චි කරලා වචන ගාන ඕන ගානට හදා ගන්න ඇහැකි. මතක ඇතුව ලියලා මාතෘකාවත් දාලා වචන ගණන මෙච්චරයි කියලත් ලියන්න. එතකොට පරීක්ෂකවරයා හා හා පුරා කියලා ඒ දෙකට ලකුණු දීලා තමයි කියවන්න පටන් ගන්නේ.

ඊළඟට කියනවා විශ්ලේෂණාත්මක රචනයක් ලියන්න කියලා. මේකට නම් පුතෝ හොඳට ලියන්නම වෙනවා. හොඳම වැඩේ තමා පත්තරවල කතුවැකි පුළුවන් තරම් කියවන එක. ඒවා ලියන්නේ ප්‍රධාන කර්තෘම නිසා බය නැතුව ආදර්ශයට ගන්න ඇහැකි. තව ආදර්ශ රචනා කියවන එකත් බොහොම හොඳයි. හැබැයි ගොඩ පීනන්නා වගේ බෑ ලියලම පුරුදු වෙන්න ඕන.

තවත් සමහර අවුරුදුවල අහන ප්‍රශ්නයක් තමා ප්‍රායෝගික ලේඛන. ඒ කියන්නේ ලිපි, දැන්වීම්, ආරාධනා පත්‍ර, අත් පත්‍රිකා වගේ මොකක් හරි එකක් හදන්න කියනවා. ඒකට හොඳට ලිපියක් කාරිය ලියන හැටි පුරුදු පුහුණු වෙලා යන්න ඕන. සමහර පොත් එහෙමත් තියෙනවා ප්‍රායෝගික ලේඛන කියලම. එහෙම එකක් බැලුවත් කාරි නෑ.

ආයේ සමහරවිට කියනවා සංක්ෂිප්ත කරන්න කියලා. ඒ කියන්නෙ වාක්‍ය කීපයක් දීලා ඒකෙ අර්ථය තනි වාක්‍යයකින් කියන්න කියනවා. එකත් සාරාංශය වගේම තමා කරන්න තියෙන්නේ.

ඒ වගේම කියනවා අකාරාදිය හදන්න කියලා. ඒකට නම් හෝඩිය පාඩම් කරගන්න වෙනවා. කටපාඩමින් කියන්න බැරි නම් ටක් ගාලා කටුවට හෝඩිය ඇඳගන්න හරි පුරුදු වෙන්න ඕන. මොන හෝඩිය ද? සිදත් සඟරා හෝඩිය ද? නෑ. මිශ්‍ර සිංහල හෝඩිය එහෙම නැත්නම් ජාතික අධ්‍යාපන ආයතන හෝඩිය කියලා කියන අකුරු 60ක් තියෙන හෝඩිය. ඒකට එහෙම කියන්නේ ඒක හඳුන්වා දුන්නෙ ජාතික අධ්‍යාපන ආයතයෙන් ගහපු සිංහල ලේඛන රීතිය කියන පොතේ නිසා. ඒ පොතත් බලන්න හොඳයි.

ඊළඟ වැදගත් කාරණේ තමයි අක්ෂර වින්‍යාසය. මේ විභාගේ තියෙන නරක ආරංචිය තමා අක්ෂර වින්‍යාසය සහ පද බෙදීම් දෝෂ සහිත වෙන හැම තැනකටම ලකුණු කැපී කැපී යනවා. ඒ නිසා අක්ෂර වින්‍යාසය හරියටම ලියන්න ඕන. තව ප්‍රශ්නත් තියෙනවා අක්ෂර වින්‍යාස දෝෂ හොයන්න. මේකට නම් නිර්දේශ කරන්න තියෙන හොඳම පොත තමා මහාචාර්ය සඳගෝමී කෝපරහේවා ලියපු සිංහල අක්ෂර වින්‍යාස අකාරාදිය කියන පොත. ඒකෙ නිවැරදි අක්ෂර වින්‍යාසය සහිත පද නාමාවලියක් වගේම අක්ෂර වින්‍යාසය සම්බන්ධ රීති සේරමත් හොදට පැහැදිලි කරලා තියෙනවා.

තවත් ප්‍රශ්න විදිහක් තමා නොගැලපෙන පදය තෝරන එක. ඒකට ඉතින් සමාස, තද්ධිත, කෘදන්ත, සන්ධි, යුගල පද, බහ්වර්ථ පද, ඡත්‍ර පද හෙවත් තනි පද, විභක්ති වගේ එව්වා දැනගෙන ඉන්න වෙනවා. ඒකට නම් නිර්දේශ කරන්න පුළුවන් පොත තමා රත්න කොඩිකාර මහතාගේ සිංහල භාෂාව හා ව්‍යාකරණ කියන පොත. ඒ පොතේ ඔය සේරම වගේම කලින් කියපුවත් එක්කම තියෙනවා. බොහොම හොඳ අංග සම්පූර්ණ පොතක්.

මතක විදිහට ඔය ටික තමා භාෂා හැකියාව ප්‍රශ්න පත්‍රයට අහන්නෙ. දැන් සමහරුන්ට හිතෙයි මොකටද අප්පේ ඔච්චර ගොඩක් දේවල් කියලා. මේ රස්සාව ඉතින් ලියන කියන වැඩක්නේ. මේකට ඕන ලොකුම හැකියාව තමා භාෂා හැකියාව. ඒ නිසා ඒක බොහොම වැදගත්.

අනිත් දේ තමා ඔය මොන වැඩ කෑලි දැම්මත් වැඩක් නෑ අකුරු අවුල් නම්. ඒ කිව්වේ අකුරු මුතුකැට වගේ වෙන්න ඕනා කියන එක නෙවෙයි. හොඳට පැහැදිලිව කියවන්න පුළුවන් වෙන්න අකුරු ලියන්න වෙනවා. බොහොම හොඳට සිංහල හැකියාව තියෙන අපේක්ෂකයෝ අකුරු කැත නිසා නිරපරාදේ අසමත් වෙනවා මං දැකලා තියෙනවා. ඒ නිසා තමන්ගේ අකුරු තමන්ට අවුල් නම් ටිකක් ලොකුවට හොඳට වචන අතර ඉඩ තියලා පැහැදිලිව ලියන්න පුහුණු වෙන්න. ඒ වගේම තමා වේගෙන් ලියන්නත් වෙනවා. දැන් සමහරු කාලෙකින් ලියලා නැති නිසා සමහර විට ඇඟිලි ඇටවල මල අල්ලලා තියෙන්නත් පුළුවන්. ඒ නිසා දැන් ඉඳලම පුළුවන් තරම් ලියලා පුරුදු වෙන්න.

අවශ්‍ය කෙනෙකුට ගන්න කලින් කියපු පොත් ටිකයි තව හොඳයි කියලා හිතෙන පොත් ටිකකුයි ලැයිස්තුවක් විදිහට ආයෙත් කියන්නම්.

බුද්ධි පරීක්ෂණය සහ අභියෝග්‍යතාව - අමර ශ්‍රී හේරත් - කර්තෘ ප්‍රකාශන

සිංහල ලේඛන රීතිය (නව සංස්කරණය) - ජාතික අධ්‍යාපන ආයතනය

සිංහල අක්ෂර වින්‍යාස අකාරාදිය - මහාචාර්ය සඳගෝමි කෝපරහේවා - ගොඩගේ ප්‍රකාශන

සිංහල භාෂාව හා ව්‍යාකරණ - රත්න කොඩිකාර - සරසවි ප්‍රකාශන

සිංහල ලේඛන ව්‍යවහාරය: උපදේශ සංග්‍රහය - අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව

6 ශ්‍රේණිය සිට 11 ශ්‍රේණිය දක්වා සිංහල පාසල් පෙළපොත් (මේවා සල්ලිවලට ගන්න ඕන නෑ. එයාලගේ website එකේ තියෙනවා)

තව පොත්පත් ඕන තරම් කඩවල්වල තියෙනවා. තමන්ට ඕනෑ හැටියට ගන්න පුළුවන්. අනික මේ සිංහල පොත් සල්ලි දීලා ගත්තට පාඩු නෑ. විභාගේ පාස් වෙලා රස්සාව කරනකොටත් මේවා ඕන වෙනවා.

පුරුදු වෙන්න ලියන හැම ප්‍රශ්න පත්‍රයකටම වෙලාව මැනලා ලියන්න. ඒ වෙලාව අඩු කරගන්න හැකිතාක් උත්සාහ කරන්න. හැකිතාක් ප්‍රශ්නවලට උත්තර ලියලා පුරුදු වෙන්න. මේ ටිකේ නිදි නැතුව හරි මේකට මහන්සි වෙන්න. දේශපාලකයෝ පස්සේ වැටීගන නොගිහින් ගන්න පුළුවන් අභිමානවත් රජයේ රැකියා බොහොම ටිකෙන් එකක් මේක. ඒ නිසා පුළුවන් තරම් මහන්සි වෙන්න. ඒ මහන්සි ඔක්කොම ඉවරයි “...විභාගයේ ප්‍රතිඵල මත ඔබ කළමනාකරණය සේවා නිලධාරී සේවයේ III ශ්‍රේණියේ තනතුරකට පත් කිරීමට තෝරාගෙන ඇති බව සතුටින් දන්වමි...” කියලා ලියුම අතට ලැබුණම.


රාජ්‍ය සේවයේ අභිමානවත් කළමනාකරණ සේවා නිලධාරියෙකු ලෙස ඔබ මුණගැසීමට අපි බලන් ඉන්නවා. ඔබට ජයෙන් ජය.

කළමනාකරණ සේවා නිලධාරී විභාගය එකපාරින්ම සමත් වෙන්නේ කොහොමද?

මේ දවස්වල බොහොම පිරිසක් ලියන්න නියමිත , ටියුෂන් වසන්තයක් එළැඹීමටත් නියමිත කළමනාකරණ සේවා නිලධාරී සේවයේ III වන ශ්‍රේණියට බඳවා ගැනීමේ තරග විභා...